අගෝස්තුවේ නිල් සඳ

 

අගෝස්තුවේ නිල් සඳ


Super Blue moon
Super Blue Moon by here

2023 වසරේ විශාලතම සහ දීප්තිමත්ම සඳ අගෝස්තු 30-31 දිනයන්හිදී උදාවීමට නියමිතයි. සුපිරි නිල් සඳක් යනු සිත්ගන්නාසුලු චන්ද්‍ර සංසිද්ධි දෙකක් ඒකාබද්ධ කරන ආකාශ සිදුවීමකි. එම චන්ද්‍ර සංසිද්ධි දෙක නම් සුපිරි සඳ සහ නිල් සඳයි. සුපිරි නිල් සඳ ඇතිවන්නේ සෙනසුරු පෘථිවියට ආසන්නතම දුරින් සිට, සඳට අංශක කිහිපයක් ඈතින් දිස්වන දිනයේදීය.

සුපිරි නිල් සඳ වටහා ගැනීමට නම් පළමුව සුපිරි සඳ පිළිබඳ අධ්‍යයනය කළ යුතුය.සුපිරි සඳ යන යෙදුමෙන් සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා අහසේ විශාලව  සහ  දීප්තිමත්ව දිස්වන පූර්ණ චන්ද්‍රයා විස්තර කරයි.සඳේ ප්‍රමාණය සහ දීප්තිය මෙලෙස වෙනස් වන්නේ කෙසේද? සඳ පෘථිවිය වටා ඉලිප්සාකාර හෝ තරමක් ඕවලාකාර පථයක ගමන් කරයි.පුර සඳක් පෘථිවියට සමීපව කක්ෂයක පවතින විට, එය පෘථිවියට දුරස්ථම ස්ථානයේ දී හෝ ක්ෂුද්‍ර සඳකට වඩා 14%ක් පමණ විශාලත්වයෙන් සහ 30%ක දීප්තියකින් දිස්වේ.

නිල් සඳක් යනු සඳ නිල් පැහැයට හැරෙන බවක් නොවේ. නිල් සඳ යන යෙදුම ඓතිහාසිකව අසාමාන්‍ය චන්ද්‍ර සිදුවීම් විස්තර කිරීමට භාවිත කර ඇත. නිල් සඳ පිළිබඳ වඩාත් පොදු නිර්වචනය වන්නේ පූර්ණ චන්ද්‍රයන් දෙදෙනෙක් සහිත දින දර්ශන මාසයක දෙවන පූර්ණ චන්ද්‍රයායි. සාමාන්‍යයෙන්, එක් මාසයකට ඇත්තේ එක් පුර සඳක් පමණි. නමුත් චන්ද්‍රයාගේ චක්‍රය දින 29.5ක් පමණ වන බැවින්, සඳ චක්‍රය මාස දෙකක් අතර සිදුවීමට සුළු අවස්ථාවක් ඇති වේ.

නිල් සඳක් ආසන්න වශයෙන් වසර 2.7කට  වරක් සිදුවේ. සාම්ප්‍රදායිකව, සෑම සමයකම සූර්යාලෝකයක් සහ විෂුවක් අතර, එක් මාසයකට එක බැගින් පූර්ණ චන්ද්‍රයන් තුනක් නැග එයි. නමුත් දුර්ලභ අවස්ථවන්හිදී එක් සමයකට පූර්ණ චන්ද්‍රයන් හතරක් අඩංගු වන අතර, ඉන් තුන්වැන්න නිල් සඳක් ලෙස නම් කෙරේ. ඉහත සංසිද්ධීන්ට අනුව සුපිරි නිල් සඳක් නැග එන්නේ දින දර්ශන මාසයක දෙවන පූර්ණ චන්ද්‍රයා හෝ සිව්පූර්ණ චන්ද්‍ර සමයක තෙවැනි චන්ද්‍රයා පෘථිවියට සමීපතම ප්‍රවේශය සමඟ සමපාත වන විටය. මෙම සිදුවීම සුපිරි සඳකට හෝ නිල් සඳකට වඩා දුර්ලභය.

සුපිරි නිල් සඳ එහි විශාලත්වය සහ දීප්තිය හේතුවෙන් පියවි ඇසට විශේෂයෙන් කැපී පෙනේ. නමුත් එය සත්‍ය වශයෙන්ම නිල් පාටින් නොපෙනේ. පෘථිවියේ වායුගෝලීය තත්ත්වයන් චන්ද්‍රයාගේ සැබෑ වර්ණයට බලපෑ හැකිය. වොලනික පිපිරීම් හෝ විශාල ලැව්ගිනි වලින් පසු වායුගෝලයේ ඇති අංශු චන්ද්‍රයා නිල් හෝ රතු පැහැයක් ගැනීමට හේතු වේ. කෙසේ වෙතත් මෙම වර්ණ ගැන්වීම නිල් සඳ යන යෙදුමට සෘජුවම සම්බන්දයක් දක්වන්නේ නැත.

2023 වසරේ උදාවන සුපිරි නිල් සඳ අගෝස්තු 30 වන දින උදාවන අතර නැගෙනහිර දිවා ආලෝක වේලාවෙන් රාත්‍රි 9.35ට හෝ ග්‍රිනිච් වේලාවෙන් අගෝස්තු 31 අලුයම 1.35 ට සිදුවනු ඇත. ඒ අනුව අගෝස්තු 30 සිට 31 දක්වා රාත්‍රියේදී චන්ද්‍රයා පෘථිවියට ආසන්නම වේ. නාසා ආයතනයට අනුව, චන්ද්‍රයා කිලෝමීටර් 357,000ක් හෝ සැතපුම් 222,000ක් පමණ ඈතින් පවතිනු ඇත. එය සාමාන්‍යයට වඩා කිලෝමීටර් 27,000ක් හෝ සැතපුම් 17,000ක් පමණ පෘථිවියට සමීප වේ. එය 2023 අගෝස්තු මාසයේ දෙවන පූර්ණ චන්ද්‍රයා බැවින් සුපිරි නිල් සදක් ලෙස හඳුන්වයි.

එදිනට නිල් සඳ ආසන්නයේම තාරකාවක් ලෙස දීප්තිමත්ව දිස්වන්නේ සෙනසුරු ග්‍රහලෝකයයි. වඩාත් කැපී පෙනෙන දෙයනම්, සෙනසුරු එහි විරුද්ධත්වය වටා සිටීමයි. තාරකා විද්‍යාවේ විරුද්ධත්වය යන පදය භාවිතා කරන්නේ පෘථිවියේ සිට බලන විට සූර්යයාට සෘජුවම විරුද්ධ පසින් ආකාශ වස්තුවක් පිහිටා ඇති විට එහි පිහිටීම විස්තර කිරීමටය. වෙනත් අයුරකින් කිවහොත් , පෘථිවිය පිහිටා ඇත්තේ එම ආකාශ වස්තුව සහ සූර්යයා අතර කෙළින්මය. මෙම පදය බොහෝ විට භාවිතා වන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක සම්බන්ධවයි. විශේෂයෙන්ම පෘථිවියේ සිට එම ග්‍රහලෝකවල දෘශ්‍යතාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී ය. මේ අනුව මෙම කාලයේදී සෙනසුරු පෘථිවියට ආසන්නතම වන අතර එය සෙනසුරු නිරීක්ෂණය සඳහා සුදුසුම කාලය වේ.

සුපිරි නිල් සඳක් යනු ඉතා දුර්ලභ සිදුවීමකි.නැවතත් සුපිරි නිල් සඳක් දැකගත හැකිවන්නේ 2037 වර්ෂයේදී ය. එබැවින් මෙම දුලබ, සිත්ගන්නාසුලු අවස්ථාව මග නොහැර ගත යුත්තක් වේ. තාරකා විද්‍යාඥයන් , තාරකා ඡායාරූප ශිල්පීන් මෙන්ම තාරකා විද්‍යාව සඳහා ඇල්මක් දක්වන්නන් සඳහා සුපිරි සඳ සහ සෙනසුරු නැරැඹීමට මෙය අනගි අවස්ථාවක් වනු ඇත.

                                                                                                                      ✍Poornima Rathnasinghe

Published on 2023/August Volume 08 of Leo Times, Leo club of Uva Wellassa University.

https://bit.ly/October_Newsletter_


Comments

Popular posts from this blog

Unveiling the Most Common Types of Cyber Attacks

The Tale of Cherry Blossoms at Uva Wellassa University